සඟරජු උතුම් බුදුබව ලබත්වා ! - වැලිවිට සරණංකර සඟරාජ හිමියන්ගේ 323 වැනි ජන්ම දිනය



වර්තමාන ශාසනපුනරුද්දීප්තියෙහි මෙන් ම අද්‍යතන ශබ්දශාස්ත්‍රෝන්නතියෙහි ද පුරෝගාමී උතුමන් වන බෝධිසත්ත්ව ගුණෝපේත වැලිවිට රාජගුරු පිණ්ඩපාතික අසරණ සරණ ශ්‍රී සරණංකර සංඝරාජෝත්තමයාණන් වහන්සේගේ 323 වැනි ජන්ම දිනය අදට යෙදී තිබේ. ( 2021 06 18 )

සීතාවක රාජධානි සමයෙහි පටන් ක්‍රමයෙන් පරිහාණියට පත් ව තිබූ ලාංකේය සම්බුද්ධ ශාසනය ප්‍රකෘතිමත් කරලීම උදෙසා වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජයාණන් වහන්සේ විසින් ඉටු කරන ලද මෙහෙවර අතිමහත් ය. කීර්ති ශ්‍රී රාජසිංහ මහරජුගේ ද සහය ඇතිව ලක්දිව ස්‍යාමෝපසම්පදාව පිහිටුවීම, පිරිහී ගිය භාෂා ශාස්ත්‍රාදිය නගාසිටුවමින් වර්තමාන පාරිවේණික අධ්‍යාපනය ආරම්භ කිරීම, දුර්ලභ ව පැවති ශාස්ත්‍රීය හා ධර්මග්‍රන්ථ සුලභ කරවීම, ශික්ෂාකාමී, ධර්මධර, විනයධර භික්ෂු පිරිසක් ඇති කිරීම, පිරිහීගිය ශාසනික වත් පිළිවෙත් නගාසිටුවීම, නටබුන් ව පැවති ඉපැරණි විහාරාරාම නවීකරණය කරවීම ආදිය තුළින් මෙරට සම්බුද්ධ ශාසනයෙහි චිරස්ථිතිය උදෙසා අනල්ප සේවාවාක් උන්වහන්සේ විසින් සිදු කරන ලදී.

පිණ්ඩපාතාදී ධූතාංග පුරමින් අතිශය අල්පේච්ඡ වූත් ශික්ෂාකාමී වූත් ආදර්ශවත් පැවිදි දිවියක් ගත කළ උන්වහන්සේ 'උඩඟු නොව මහණ' යන ආත්මාවවාදය අනුව යමින් සංඝරාජ පදවිය වැනි අතිශය උත්තරීතර තනතුරු හමුවෙහි පවා නිරහංකාර ව හා අනතිමානීව කටයුතු කරමින් සියලු දෙනාට මහත් ආදර්ශයක් ලබා දුන්හ. 

උන්වහන්සේ විසින් සම්පාදනය කරන ලද මුනිගුණාලංකාර පද්‍ය ප්‍රබන්ධය අවසානයෙහි සම්බෝධිය උදෙසා වූ සිය අනාගත ප්‍රාර්ථනාව මෙසේ දක්වා ඇත. 

'.........දසපාරමී දම් පුරමින් යම් කලෙක මෛත්‍රී බුදුපියාණන් වහන්සේ මෙලොව පහළ වන්නේ ද එකල උන්වහන්සේගේ සසුනෙහි පැවිදි ව නාගසේන තෙරුන් මෙන් සියලු ප්‍රතිපත්ති, ප්‍රතිවේධ, පර්යාප්ති නම් වූ ත්‍රිවිධ ශාසනය මැනවින් ආරක්ෂා කොට මතු මත්තෙහි උපදනා වූ සියලු බුදුරජාණන් වහන්සේලා සමීපයෙහි එලෙස ම පැවිදි ව සසුන් රැක බුදුවරුන් අතර අතිශය ප්‍රභාමත් සිරුරු ඇති මහත් ආනුභාව සම්පන්න බුදුවරයෙකු වූ මංගල සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙන් සකල ක්ලේෂයන් ප්‍රහීණ කොට උතුම් බුදු බව ලබම්වා යි පතමින්..........'

(මුනිගුණාලංකාරය)

පිරිහී ගිය ලක්දිව බුදුසසුනත් භාෂාශාස්ත්‍රාදියත් මහත් දුෂ්කරතා මධ්‍යයෙහි ප්‍රකෘතිමත් කොට ශාසන චිරස්ථිතිය සැළසූ බෝධිසත්ත්ව ගුණෝපේත වැලිවිට රාජගුරු පිණ්ඩපාතික අසරණ සරණ ශ්‍රී සරණංකර සංඝරාජෝත්තමයාණන් වහන්සේ පැතූ පරිද්දෙන් ම එකී නිරුත්තර වූ සම්බුද්ධත්වය සාක්ෂාත් කොට සියලු දිව්‍යබ්‍රහ්මාදී සත්ත්වයන් හට උතුම් වූ සාංසාරික විමුක්තිය උදෙසා මග විවර කරත්වා යි ප්‍රාර්ථනා කරමු....!



Gadaladeniya Royal Temple
Gadaladeniya Royal Temple

This is a short biography of the post author. Maecenas nec odio et ante tincidunt tempus donec vitae sapien ut libero venenatis faucibus nullam quis ante maecenas nec odio et ante tincidunt tempus donec.

No comments:

Post a Comment